Pages

Tuesday, August 16, 2011

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය
alt
“Mesua Nagassarium” යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි.

ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.
 
  • ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
  • ශාඛයේ ප්‍රයෝජනවත් බව.
  • ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
  • බාහිර ස්වරූපය.
  • පුළුල් ව්‍යාප්තිය.
  • පැහැය සහ ස්වභාවය.
  • පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.

වැසි වනාන්තර වල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30 ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්තය, කල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නොකරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී.

ඓතිහාසික වශයෙන් බුදුන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවේ දී මහියංගනයේ නා ගස් විමනකට පැමිණි බව දැක්වේ. ඇතැම් අය විශ්වාස කරන්නේ මෛත්‍රී බුදුන් නා ගස් යට‍ බුදු බව ලබන බව ය.

ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු




රටේ නම :
සම්මත දිග නම : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
සම්මත කෙටි නම : ශ්‍රී ලංකාව
කලින් නම : ලංකාව
විශාලත්වය : වර්ග කි.මී. 65,610
අගනුවර : ශ්‍රී  ජයවර්ධනපුරය‍
වාණිජ අගනුවර : කොළඹ
රජය :
ශ්‍රී ලංකාව වූ කලී (2004 ඇස්තමේන්තුවට අනුව) මිලියන 19.5ක ජනගහනයක් සහිත, ස්වාධීන සහ ස්වෛරී ජාතියකි. අනුපාතික නියෝජන පදනම මත සර්වජන ඡන්ද බලයෙන් තෝරා පත් කර ගනු ලබන පාර්ලිමේන්තුවක් විසින් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනු ලැබේ. මහජනයා විසින් ම තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයෙක් රාජ්‍යාරක්ෂාව ඇතුළු විධායක බලය ක්‍රියාත්මක කරයි. බහු පාක්ෂික ක්‍රමයක් පවතින ශ්‍රී ලංකා‍වේ ජනතාව හැම අවුරුදු හයකට වරක් නව රජයක් තෝරා පත් කර ගැනීමට ඡන්දය දෙයි.
ජාතික ධජය :
ශ්‍රී ලංකාවේ ජාතික ධජය සිංහ ධජයයි. එහි කහ පාට තීරුවක් සහිත රතු පසුබිමේ සිය දකුණු අතින් කඩුවක් දරා සිටින සිංහයෙක් නිරූපිත වේ. ඇතුළට යොමු වූ බෝ පත් හතරක් සිව් කොණේ දිස් වේ.  කොඩිගස පැත්තට ඇති කෙළවරේ සිරස් අතට ඇති කොළ පාට සහ කහපාට තීරු දෙකෙන් සුලු ජනවර්ග නියෝජනය වේ. එය වූ කලී ශ්‍රී ලංකාවේ අවසාන රජුගේ ධජයෙන් සකසා ගත් ආකෘතියකි.
ජාතික ගීය :
දිවංගත ආනන්ද සමරකෝන් මහතාණන් රචනා කළ ‘ශ්‍රී ලංකා මාතා’ ගීතය යි.
ජාතික පුෂ්පය :
ජාතික පුෂ්පය නිල් මානෙල් මල (Nymphaea stellata) වේ.
ජනගහණය : මිලියන 19.5 කි.
ජනගහණ ඝනත්වය : වර්ග කිලෝමීටරයකට 296 දෙනෙකි.
උපතේදී පරමායුෂ :
කාන්තා පක්ෂය 76.4. පුරුෂ පක්ෂය: 71.7 (2001 ඇස්තමේන්තුව අනුව)
සාක්ෂරතා අනුපාතිකය : සියයට 92.5 (2003 ඇස්තමේන්තුව)
භාෂා : සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව පුරා පුළුල් ලෙස කතා කෙරේ.
ජනවාර්ගික සම්මිශ්‍රණය : සිංහල 74% යි. දෙමළ 18% යි. මුස්ලිම් 7% යි. බර්ගර් (ඕලන්ද සහ පෘතුගීසි ජනයාගෙන් පැවතෙන අය) සහ වෙනත් අය 1% යි.
ආගම : බුද්ධාගම 70% යි. හින්දු 16% යි. ක්‍රිස්තියානි 7% යි. ඉස්ලාම් 7% යි.
දේශගුණය :
පහත් බිම් ප්‍රදේශ - ඝර්ම කලාපීය වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 යි. මධ්‍යම කඳුකරය - අධික ලෙස ශීතලය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 දක්වා පහත වැටේ. නිරිත දිග මෝසම් වැසි මැයි සිට ජූලි දක්වා බටහිර දිග, දකුණු දිග සහ මධ්‍ය ප්‍රාන්තවලට ලැබේ. ඊශානදිග මෝසම් වැසි දෙසැම්බර් සහ ජනවාරි මාසවල උතුරු සහ නැගෙනහිර කොටස්වලට ලැබේ. සංචාරකයන් සඳහා රමණීය දේශගුණයක් අවුරුද්ද පුරා පැවතීම ශ්‍රී ලංකාවේ විශේෂ ලක්ෂණයකි.
වාර්ෂික ප්‍රතිශීර්ෂ ආදායම : එ.ජ. ඩොලර් 1197 (2005 ඇස්තමේන්තුව)
කර්මාන්ත :
රබර්, තේ, පොල් සහ වෙනත් කෘෂිකාර්මික වෙළඳ ද්‍රව්‍ය පිරිසැකසුම, ඇඟලුම්, සිමෙන්ති, ඛනිජ තෙල් පිරිපහදුව, රෙදිපිළි, දුම්කොළ
කෘෂිකාර්මික නිෂ්පාදන :
සහල්, උක්, ධාන්‍ය වර්ග, මාෂ බෝග, තෙල් ලබාගන්නා ඇට වර්ග, අලවර්ග, කුළු බඩු, තේ, රබර්, පොල්, කිරි, බිත්තර, සම්, මස්
වලංගු මුදල් :
දශම මුදල් ක්‍රමය භාවිත කරන ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු රුපියල් 2, 10, 20, 50, 100, 200, 500, 1000 සහ 2000 ප්‍රමාණ වලින් භාවිත වේ. ශත 1, 2, 5, 10, 25 සහ 50 ද රුපියල් 1, 2, 5 සහ 10 යන ප්‍රමාණවල කාසි ද තිබේ. ජාත්‍යන්තර වශයෙන් මුදල් ප්‍රමාණනය කිරීමේදී අමෙරිකානු ඩොලරය පදනම වශයෙන් ගැනේ.
වීසා බලපත්‍ර :
ඔබ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, කොන්සියුලේට් කාර්යාලයෙන්, සංචාරක කාර්යාලයෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් විමසන්න.
වැඩ කරන සතිය :
ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක වන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා වන දින පහේ සතිය යි.
කාර්යාල වේලාව :
රජයේ කාර්යාල සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 4:15 දක්වා විවෘතව පවතී.
බැංකු :
සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 9:00 සිට ප.ව. 1:00 හෝ ප.ව. 3:00 දක්වා විවෘතව පවතී.
තැපැල් කාර්යාල :
සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා ද සෙනසුරාදා දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 1:00 දක්වා විවෘතව පවතී. ප්‍රධාන  තැපැල් හුවමාරු ස්ථානය කොළම 10, ඩී.
ආර්. විජේවර්ධන මාවතේ පිහිටා ඇත. පැය 24ම විවෘත ය. (දූරකථනය 2326203)
පිහිටීම : ඉන්දියන් සාගරය තුළ සමකයේ සිට කි.මී. 880කට උතුරින් ඉන්දියාවේ ගිනිකොන වෙරළට ඈතින් පිහිටි දූපතකි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය



alt
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය රටේ බහුතර ජාතිය සුලු ජාතීන් සමග ඒකාබද්ධ කිරීමේ උපක්‍රමයක් වශයෙන් රටත් රටේ උරුමයත් නියෝජනය කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වූ කලී ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතියාණන් භාවිත කළ කොඩියේ ම වැඩිදියුණු කර ගත් ස්වරූපයකි.
එම රාජකීය කොඩිය මධ්‍යයෙහි ඉදිරිපස දකුණු පැත්තේ පයින් කඩුවක් දරාගෙන සිටි රාජකීය සිංහ රූපයක් වූ අතර චාම් බෝඩරයක් මත සිවු කොණේ එක් එක් කොණෙහි බෝ කොළයක් බැගින් විය.
ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.
නිදහස් ලංකාවේ ම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩියේ එක් එක් සංකේතයේ සු‍විශේෂත්වය පහත සඳහන් පරිදි වේ.
කොඩියේ සිංහයාගෙන් සිංහල ජාතිය නියෝජනය වෙයි.
සිංහයාගේ කඩුවෙන් රටේ ස්වෛරිත්වය නියෝජනය වේ.
සිංහ හිසේ රැළි සහිත කේශරවලින් ආගමික වත් පිළිවෙත්, ප්‍රඥාව සහ අධිෂ්ඨානය නිරූපනය වේ.
සිංහයාගේ රැවුලෙන් වචනවල පවිත්‍රතාව දක්වයි.
කඩුවේ මිට නිරූපනය කරන්නේ ආපෝ, තේජෝ, වායෝ, පාඨවි යන සතර මහා භූතයන් ය.
නැහැයෙන් බුද්ධිය දැක්වේ.
ඉදිරි දෙපා ධනය පරිභෝජනය කිරීමේ පවිත්‍රතාව කියා පායි.
කහපාට සිරස් තීරුවෙන් සුලු දෙමළ ජනතාවද, කොළ පාට සිරස් තීරුවෙන් සුලු මුස්ලිම් ජනතාව ද නියෝජනය වේ.
කරුණා, මෙත්තා, මුදිතා සහ උපේක්ඛා යන සතර බඹවිහරණ ද කොඩියෙන් නිරූපණය වේ.
කොඩිය වටා ඇති කහපාට තීරුව අනෙකුත් සුලු ජාතීන් නිරූපණය කරයි.
කොඩියේ සිවු කොණේ ඇති සිවු බෝ පත් වලින් බුදු දහම සහ එයින් ජාතිය ලත් ආභාසය නිරූපණය කරයි. බෝපත් වලින් කරුණා, මෙත්තා, මුදිතා සහ උපේක්ඛා නම් වූ සිවු බඹ විහරණ ද නිරූපණය වේ.
කොඩියේ මෙරූන් පාට කොට‍සින් අනෙකුත් සුලු ආගම් සංකේතවත් කරයි.
මෙම ජාතික කොඩිය ප්‍රථම වරට 1950 මාර්තු මස 03 වැනි දින ඔසවන ලදී.