Pages

Monday, August 8, 2011

තට්ටය පෑදීමෙන් අත්මිදි

තට්ටය පෑදීමෙන් අත්මිදිය හැකි, ප‍්‍රත්‍යක්‍ෂම ප‍්‍රතිකාරය බොරු කොණ්ඩයක් පැළඳීමයි. නොඑසේම පෑදුණු තට්ටයක් යළි ප‍්‍රකෘතිමත් කළ හැකි ක‍්‍රමයක් වෛද්‍ය ලෝකයෙ නැත. එහෙත් දැන් ඊට ද පිළියමක් මතු විය හැකි අධ්‍යයනයක් අමෙරිකාවේ සිදුකෙරී ඇත.මේ අනුව මීයන්ගේ රෝම කූපයන් හි දිගුකාලීනව පවත්නා ප‍්‍රකෘති සෛලයන් පවත්නා බව සොයාගෙන තිබෙන විද්‍යාඥයන් එවන් සෛල මිනිසුන් ගෙන් ද සොයා ගත හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවත් එය තට්ටය පෑදීමට හා වෙනත් රෝග කීපයකට අනාගතයේ ප‍්‍රතිකාර සැපයීමට ඉවහල් විය හැකි බවත් ප‍්‍රකාශ කර තිබේ.මීයන්ගේ රෝම කූපයන්හි සැබෑ වැඩිහිටි ප‍්‍රකෘති සෛල අඩංගු බවත් ඒවා අලුතින් කෙස් හෝ රෝම වඩවාලීමේ හැකියාවෙන් පමණක් නොව විවිධ වර්ගයේ පටක වර්ධන හැකියාවෙන් ද යුක්ත බවත් විද්‍යාඥයෝ කියති.මෙම ප‍්‍රකෘති සෛල මීයන්ගේ එකදු ලෝමයක් හෝ නැති ස්ථානයන්හි රෝපණය කළ ලොම් ලියලන්නට පටන් ගත් බව ඔවුහු පවසති.

මෙම පර්යේෂණය සිදුකැර ඇත්තේ පෙනිසිල්වේනියා සරසවි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ජෝර්ජ් කොට්සරෙලිස් හා ඔහුගේ සගයන් විසිනි.මෙහිදී සිදුවන්නේ වෙනත් රෝම කූපයන්ගේ හෝ චර්ම සෛලයන්ගේ කි‍්‍රයාත්මක නොවන එක්තරා ජාන වර්ගයක් ප‍්‍රකෘති සෛලයන්හි කි‍්‍රයාත්මක වීමයි. මෙම ජානයන්ට බලපාන ඖෂධ හිසකේ වර්ධනය පාලනය කැරෙන මං පෙත්වලට මුල් විය හැකි බව ඔවුහු කියති. මෙම ජානයන් මීයන් කැරෙන් සොයාගැන්මෙන් ඒ හා සමාන සෛලයන් මිනිසුන් කැරෙන් ද සොයාගත හැකිවනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.මෙම ජානමය අනු නිශ්චය කැර ගැන්මෙන් මිනිසුන්ගේ රෝම කූපයන්ගෙන් එම ප‍්‍රකෘති සෛල වෙන්කැර ගැන්මට හැකි වෙතැයිද ඔවුහු ප‍්‍රකාශ කරති.මීට වසර කීපයකට පෙරදි ඔවුන් මිනිස් රෝම කූපයන්හි ප‍්‍රකෘති සෛල ඇති බව විදහන ලද නමුදු ඒවා නිශ්චය වශයෙන් හඳුනාගෙන වෙන්කර ගන්නේ කෙලෙසද යන්න ගැන දැන නොසිටියහ. තට්ටය පෑදීමට හා අකලට හිසකේ වැටීමට ප‍්‍රතිකාර වශයෙන් පමණක් නොව පිළිස්සුම් හා තුවාල සඳහා වඩා හොඳ ප‍්‍රතිකාරයක් සඳහා මෙම සොයාගැන්ම මුල්වනු ඇතැයිද, වයස්ගත වීමේ කි‍්‍රයාවලිය හා පිළිකා වර්ධනයට අදාළ අවබෝධයක් ලැබීමට එය ඉවහල් වනු ඇතැයිද කොට්සරේලිස් පවසා තිබේ. පිළිස්සුම්වලදී මතුවන ප‍්‍රශ්නයක් වන්නේ එවන් තුවාලයක රෝම කූප ආවරණයක් නොතිබීමයි. එහෙත් මෙම සෛලවලට ඇති හැකියාව කොතෙක්ද යත් ඒවා වෙන්කොට ගෙන තුවාලයක් මතුපිට යෙදිය හැකි නම් දැනට කළ හැකිවාට වඩා සාමාන්‍ය තත්ත්වයේ චර්මයක් වර්ධනය සඳහා එය යොදාගත හැකිව තිබේ. වයස්ගත වීමේදී සිදුවන්නේ ප‍්‍රකෘති සෛල මියයාමයි. මේ සෛල මියයාමේ කි‍්‍රයාවලිය පාලනය කළ හැකි නම් වයස්ගත වීමේදී චර්මයට ඇතිවන බලපෑම වැළකිය හැකි බවද කොට්සරේලිස් කියා ඇත.
මිටි අබරැල්ලා වගාව
දුම් උරන්නෙකු පිට කරන දුමෙන් ඔහුගේ සෞඛ්‍යයට පමණක්‌ නොව අනෙක්‌ අයගේ සෞඛ්‍යයටද හානි පමුණුවයි. මෙය අක්‍රීය දුම් පානය ලෙස හැඳින්වෙන අතර එහි අඩංගු විෂ ද්‍රව්‍ය සිගරැට්‌ නොඋරන්නාගේ පෙනහළු සහ හදවතට ද හානි පමුණුවයි. මේ ආකාරයෙන් දුම් උරන්නෙකු දුම් නොඋරන ජනතාවට සිදු කරන හානිය අතිවිශාලය. අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් මරණ , ලෙඩරෝග සහ බෙලහීනතා ඇති කරයි.

ළදරුවන් මිය යයි

ලෝකයේ ජිවත්වන දරුවන්ගෙන් හරිඅඩක්‌ ම හෝ මිලියන 700 ක්‌ පමණ දුම්වැටි දුමෙන් දූෂණය වූ වාතය ආඝ්‍රාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කර ඇත. අක්‍රීය දුම්පානයට ලක්‌වන ළදරුවන් හා කුඩාදරුවන් බ්‍රොන්කයිටිස්‌ සහ නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතියට අයත් ආසාදන සහ කන්වල ආසාදනවලට වැඩියෙන් ලක්‌වෙති. ඇදුම වැනි දරුණු ශ්වසන රෝග ලක්‌ෂණ උග්‍රවේ. පෙනහළු වර්ධනය අඩුවේ. එසේ ම හදිසි ළදරු මරණ රෝග ලක්‌ෂණවලින් මිය යාමේ ප්‍රවණතාවය වැඩිවේ. දරුවන් අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් වැඩිහිටි වියේදී හෘද වාහිනී පිළිබඳ හා හැසිරීම් රටාවේ ප්‍රශ්න ඇතිවීම ද සිදුවේ. දුම් නොඋරන කාන්තාවන් ගැබිනි කාලයේදී අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් කළල වර්ධනයේ අඩුවීමක්‌ ඇතිවේ.

හදවත් රෝග

අක්‍රිය දුම්පානය හෘද රෝගවලට ප්‍රධානතම හේතුවකි. දුම් නොඋරන අය දුම් උරන අය සමඟ ජීවත් වන විට ඔවුන්ට හෘද රෝග සෑදීම වැඩිවන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ජීවිතයේ කිසිදිනක දුම් නොඉරූ අය අක්‍රිය දුම්පානයට ලක්‌වීමෙන් පෙනහළු පිළිකා වලට ගොදුරු වන බවත් පර්යේෂණවලින් සොයාගෙන ඇත.

දුමෙන් වළකින්න නම්

* දුම් උරන ස්‌ථාන සහ පුද්ගලයන් මග හරින්න.

* ඔබ අසල දුම් නොබොන ලෙස ඉල්ලන්න.

* දුම් උරන රියදුරකු පදවන වාහනයක ගමන් කිරීමෙන් වළකින්න.

* දුම් බොන ස්‌ථානයක ඔබ රාජකාරි කරන්නේ නම් එම ස්‌ථානයේ හැම දෙනාගේ ම සෞඛ්‍ය උදෙසා දුමෙන් තොර ස්‌ථානයක්‌ බවට පත් කරන ලෙස ඔබේ සේව්‍යයාගෙන් ඉල්ලීමක්‌ කරන්න.

* ශ්‍රී ලංකාවේ සෑම පොදු ස්‌ථානයක්‌ හා වැඩ භූමියක්‌ ම දුමෙන් තොර කිරීම සඳහා රජය විසින් ගන්නා නීතිමය ක්‍රියාකාරකම්වලට සහය ලබාදෙන්න.

තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි

ශ්‍රී ලංකාවේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින්ගෙන් බොහෝ ප්‍රමාණයක්‌ දුම්කොළ හේතුවෙන් පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූ අය වේ. දුම්කොළ භාවිතය වළක්‌වා ගැනීම මගින් බොහෝ පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි අතර ඉන් රජයට විශාල මුදලක්‌ ඉතිරි කර ගැනිමේ හැකියාවද පවතී.

වසරකට ලෝකය පුරා මිලියන 05 ක්‌ පුද්ගලයන් මියයන්නේ දුම්කොළ හේතුවෙන්. එය වඩාත් සරළ කොට කිවහොත් සෑම තත්ත්පර 06 කට ම වරක්‌ එක්‌ අයෙක්‌ දුම් වැටි හේතුවෙන් මියයයි.

විෂ ද්‍රව්‍ය 4000 ක්‌

දුම්වැටියක විෂ ද්‍රව්‍ය 4000 ක්‌ පමණ අඩංගු බව ඔබ දන්නවාද? මේ අතරින් 40 ක්‌ පිළිකා කාරක වේ. ඇතැම් අය නිවසින් හෝ පොදු ස්‌ථාන වලින් බැහැරව දුම් පානය කොට නිවසට යති. නමුත් ඔවුන්ගේ ඇඳුම් වල පවා විෂ රසායන තැවරී ඇති බව ඔවුහු නොදනිති. මෙවැනි පුද්ගලයන් කුඩා දරුවන් වඩා ගත හොත් මේ විෂ ද්‍රව්‍ය එම දරුවන් තුළටත් ඇතුළු වේ. දුම් උරන්නෙකු ඉවත දමන සිගරැට්‌ කොටය වසර 25 ක්‌ ගතවන තුරුත් නොදිරා පවතින බව ඔබ දන්නවාද? එපමණක්‌ නොව එම වසර 25 පුරාම මේ සිගරැට්‌ කොටයෙන් විෂ ද්‍රව්‍ය පසට ජලයට වාතයට මුදාහැරේ.

වැඩි මුදලක්‌ පිළිකා රෝහලට

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයෙන් වැඩි ම ප්‍රතිශතයක්‌ මුදල් වෙන් වන්නේ පිළිකා රෝහල සඳහායි. නමුත් හැමදාමත් ඒ මුදල් ප්‍රමාණය මදිවේ. දුම්කොළ හේතුවෙන් හටගන්නා පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි නම් මෙම මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට පුළුවන.

දුම්වැටිවලට ඇබ්බැහි වීම වළක්‌වා ගත හැකි නම් දුම්වැටි භාවිතය දුර්වල කළ හැකිනම් මෙම කාරණය ඉෂ්ට කිරීමට බාධාවක්‌ නැත.

PACK WARNING

දුම්වැටි ඇසුරුම් සඳහා අවවාදයක්‌ එක්‌ කිරීමෙන් මෙය බෙහෙවින් සාර්ථක වේ. දැනටමත් බොහෝ රටවල අත්හදා බලා ඇති ක්‍රමයක්‌ වන සිගරැටි ඇසුරුම්වලට රූපයක්‌ එක්‌ කිරීම ලංකාවේදී ද ළඟදීම ක්‍රියාත්මක වීමට නියමිතය. දුම් පානය නිසා සිදුවන සෞඛයමය හානිය මෙම ඡායාරූපවලට යොදා ගැනේ.

දුම්කොළ මර්දන ජාත්‍යන්තර නීතිමය ගිවිසුම

ලෝක ව්‍යාප්ත දුම්කොළ වසංගතය පිටුදැකීමට සැළසුම් කළ පළමුවන ජාත්‍යන්තර නීතිමය ලියවිල්ල දුම්කොළ පාලන සම්මුති පාදක ව්‍යහයයි. (FCTC)

2003 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් මෙය ඒකමතිකව අනුමත කළේය. එය රාජ්‍යයන් අතර වර්ෂ 04 ක්‌ පුරා ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එයට ජාත්‍යන්තරව පිළිගත් මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් ඇතුළත් ය.

FCTC පරමාර්ථය වන්නේ දුම්කොළ භාවිතය සහ සිගරැට්‌ දුම අඝ්‍රාහණය වීමෙන් සිදුවන සෞඛ්‍ය සමාජ පාරිසරික සහ ආර්ථික විනාශය සහ අනර්ථයන්ගෙන් වර්තමාන සහ අනාගත පරපුර ආරක්‌ෂා කර ගැනීමයි.

ශ්‍රී ලංකා රජය මෙම සම්මුතියට එකඟව ආසියාවේ පළමුවන හා ලෝකයේ 04 වන රට වශයෙන් එම ගිවිසුම ස්‌ථිර කළේය.

ශ්‍රී ලංකා රජය 2006 දෙසැම්බර් 1 වන දින සිට ජාතික දුම්කොළ මධ්‍යසාර අධිකාරිය පිහිටුවමින් දුම්කොළ පාලන නීතිය ක්‍රියාත්මක කරයි.

නිතරම දුම්බොන්නන් අධෛර්යය කරන්න. තමන් වෙනුවෙන් අන් අය වෙනුවෙන් හා ඉදිරි පරපුර වෙනුවෙන් දුමෙන් තොර ලොවක්‌ ගොඩ නගන්නට හැකි සෑම පියවරක්‌ ම ගැනීමට ඔබත් පෙළ ගැසෙන්න.

(ජීවක පදනම මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ වෛද්‍ය සමාධි රාජපක්‌ෂ කළ දේශන ඇසුරින්.)