Pages

Monday, July 25, 2011

සිගරැට්‌ දුමෙන් මිය යමුද?

දුම් උරන්නෙකු පිට කරන දුමෙන් ඔහුගේ සෞඛ්‍යයට පමණක්‌ නොව අනෙක්‌ අයගේ සෞඛ්‍යයටද හානි පමුණුවයි. මෙය අක්‍රීය දුම් පානය ලෙස හැඳින්වෙන අතර එහි අඩංගු විෂ ද්‍රව්‍ය සිගරැට්‌ නොඋරන්නාගේ පෙනහළු සහ හදවතට ද හානි පමුණුවයි. මේ ආකාරයෙන් දුම් උරන්නෙකු දුම් නොඋරන ජනතාවට සිදු කරන හානිය අතිවිශාලය. අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් මරණ , ලෙඩරෝග සහ බෙලහීනතා ඇති කරයි.

ළදරුවන් මිය යයි

ලෝකයේ ජිවත්වන දරුවන්ගෙන් හරිඅඩක්‌ ම හෝ මිලියන 700 ක්‌ පමණ දුම්වැටි දුමෙන් දූෂණය වූ වාතය ආඝ්‍රාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කර ඇත. අක්‍රීය දුම්පානයට ලක්‌වන ළදරුවන් හා කුඩාදරුවන් බ්‍රොන්කයිටිස්‌ සහ නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතියට අයත් ආසාදන සහ කන්වල ආසාදනවලට වැඩියෙන් ලක්‌වෙති. ඇදුම වැනි දරුණු ශ්වසන රෝග ලක්‌ෂණ උග්‍රවේ. පෙනහළු වර්ධනය අඩුවේ. එසේ ම හදිසි ළදරු මරණ රෝග ලක්‌ෂණවලින් මිය යාමේ ප්‍රවණතාවය වැඩිවේ. දරුවන් අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් වැඩිහිටි වියේදී හෘද වාහිනී පිළිබඳ හා හැසිරීම් රටාවේ ප්‍රශ්න ඇතිවීම ද සිදුවේ. දුම් නොඋරන කාන්තාවන් ගැබිනි කාලයේදී අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් කළල වර්ධනයේ අඩුවීමක්‌ ඇතිවේ.

හදවත් රෝග

අක්‍රිය දුම්පානය හෘද රෝගවලට ප්‍රධානතම හේතුවකි. දුම් නොඋරන අය දුම් උරන අය සමඟ ජීවත් වන විට ඔවුන්ට හෘද රෝග සෑදීම වැඩිවන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ජීවිතයේ කිසිදිනක දුම් නොඉරූ අය අක්‍රිය දුම්පානයට ලක්‌වීමෙන් පෙනහළු පිළිකා වලට ගොදුරු වන බවත් පර්යේෂණවලින් සොයාගෙන ඇත.

දුමෙන් වළකින්න නම්

* දුම් උරන ස්‌ථාන සහ පුද්ගලයන් මග හරින්න.

* ඔබ අසල දුම් නොබොන ලෙස ඉල්ලන්න.

* දුම් උරන රියදුරකු පදවන වාහනයක ගමන් කිරීමෙන් වළකින්න.

* දුම් බොන ස්‌ථානයක ඔබ රාජකාරි කරන්නේ නම් එම ස්‌ථානයේ හැම දෙනාගේ ම සෞඛ්‍ය උදෙසා දුමෙන් තොර ස්‌ථානයක්‌ බවට පත් කරන ලෙස ඔබේ සේව්‍යයාගෙන් ඉල්ලීමක්‌ කරන්න.

* ශ්‍රී ලංකාවේ සෑම පොදු ස්‌ථානයක්‌ හා වැඩ භූමියක්‌ ම දුමෙන් තොර කිරීම සඳහා රජය විසින් ගන්නා නීතිමය ක්‍රියාකාරකම්වලට සහය ලබාදෙන්න.

තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි

ශ්‍රී ලංකාවේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින්ගෙන් බොහෝ ප්‍රමාණයක්‌ දුම්කොළ හේතුවෙන් පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූ අය වේ. දුම්කොළ භාවිතය වළක්‌වා ගැනීම මගින් බොහෝ පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි අතර ඉන් රජයට විශාල මුදලක්‌ ඉතිරි කර ගැනිමේ හැකියාවද පවතී.

වසරකට ලෝකය පුරා මිලියන 05 ක්‌ පුද්ගලයන් මියයන්නේ දුම්කොළ හේතුවෙන්. එය වඩාත් සරළ කොට කිවහොත් සෑම තත්ත්පර 06 කට ම වරක්‌ එක්‌ අයෙක්‌ දුම් වැටි හේතුවෙන් මියයයි.

විෂ ද්‍රව්‍ය 4000 ක්‌

දුම්වැටියක විෂ ද්‍රව්‍ය 4000 ක්‌ පමණ අඩංගු බව ඔබ දන්නවාද? මේ අතරින් 40 ක්‌ පිළිකා කාරක වේ. ඇතැම් අය නිවසින් හෝ පොදු ස්‌ථාන වලින් බැහැරව දුම් පානය කොට නිවසට යති. නමුත් ඔවුන්ගේ ඇඳුම් වල පවා විෂ රසායන තැවරී ඇති බව ඔවුහු නොදනිති. මෙවැනි පුද්ගලයන් කුඩා දරුවන් වඩා ගත හොත් මේ විෂ ද්‍රව්‍ය එම දරුවන් තුළටත් ඇතුළු වේ. දුම් උරන්නෙකු ඉවත දමන සිගරැට්‌ කොටය වසර 25 ක්‌ ගතවන තුරුත් නොදිරා පවතින බව ඔබ දන්නවාද? එපමණක්‌ නොව එම වසර 25 පුරාම මේ සිගරැට්‌ කොටයෙන් විෂ ද්‍රව්‍ය පසට ජලයට වාතයට මුදාහැරේ.

වැඩි මුදලක්‌ පිළිකා රෝහලට

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයෙන් වැඩි ම ප්‍රතිශතයක්‌ මුදල් වෙන් වන්නේ පිළිකා රෝහල සඳහායි. නමුත් හැමදාමත් ඒ මුදල් ප්‍රමාණය මදිවේ. දුම්කොළ හේතුවෙන් හටගන්නා පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි නම් මෙම මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට පුළුවන.

දුම්වැටිවලට ඇබ්බැහි වීම වළක්‌වා ගත හැකි නම් දුම්වැටි භාවිතය දුර්වල කළ හැකිනම් මෙම කාරණය ඉෂ්ට කිරීමට බාධාවක්‌ නැත.

PACK WARNING

දුම්වැටි ඇසුරුම් සඳහා අවවාදයක්‌ එක්‌ කිරීමෙන් මෙය බෙහෙවින් සාර්ථක වේ. දැනටමත් බොහෝ රටවල අත්හදා බලා ඇති ක්‍රමයක්‌ වන සිගරැටි ඇසුරුම්වලට රූපයක්‌ එක්‌ කිරීම ලංකාවේදී ද ළඟදීම ක්‍රියාත්මක වීමට නියමිතය. දුම් පානය නිසා සිදුවන සෞඛයමය හානිය මෙම ඡායාරූපවලට යොදා ගැනේ.

දුම්කොළ මර්දන ජාත්‍යන්තර නීතිමය ගිවිසුම

ලෝක ව්‍යාප්ත දුම්කොළ වසංගතය පිටුදැකීමට සැළසුම් කළ පළමුවන ජාත්‍යන්තර නීතිමය ලියවිල්ල දුම්කොළ පාලන සම්මුති පාදක ව්‍යහයයි. (FCTC)

2003 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් මෙය ඒකමතිකව අනුමත කළේය. එය රාජ්‍යයන් අතර වර්ෂ 04 ක්‌ පුරා ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එයට ජාත්‍යන්තරව පිළිගත් මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් ඇතුළත් ය.

FCTC පරමාර්ථය වන්නේ දුම්කොළ භාවිතය සහ සිගරැට්‌ දුම අඝ්‍රාහණය වීමෙන් සිදුවන සෞඛ්‍ය සමාජ පාරිසරික සහ ආර්ථික විනාශය සහ අනර්ථයන්ගෙන් වර්තමාන සහ අනාගත පරපුර ආරක්‌ෂා කර ගැනීමයි.

ශ්‍රී ලංකා රජය මෙම සම්මුතියට එකඟව ආසියාවේ පළමුවන හා ලෝකයේ 04 වන රට වශයෙන් එම ගිවිසුම ස්‌ථිර කළේය.

ශ්‍රී ලංකා රජය 2006 දෙසැම්බර් 1 වන දින සිට ජාතික දුම්කොළ මධ්‍යසාර අධිකාරිය පිහිටුවමින් දුම්කොළ පාලන නීතිය ක්‍රියාත්මක කරයි.

නිතරම දුම්බොන්නන් අධෛර්යය කරන්න. තමන් වෙනුවෙන් අන් අය වෙනුවෙන් හා ඉදිරි පරපුර වෙනුවෙන් දුමෙන් තොර ලොවක්‌ ගොඩ නගන්නට හැකි සෑම පියවරක්‌ ම ගැනීමට ඔබත් පෙළ ගැසෙන්න.

(ජීවක පදනම මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ වෛද්‍ය සමාධි රාජපක්‌ෂ කළ දේශන ඇසුරින්.)

සිංහල බෞද්ධ විද්යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

මේ ඉතා ම අසිරිමත් කාලයකි. අප අවුරුදු විසි පහකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නො සලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්රකාශ කරති. විවිධ ප්රකාශන ජනමාධ්යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්යාලයයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පැහැදිලි ය. කඩි ගුලක් ඇවිස්සූ කලක මෙන් පඬියන් ක්රියා කරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්යාවේ ආධිපත්යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්යාවට හා ඒ මත යෑපෙන අනෙක් බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක් මෙතරම් ඉක්මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්රිස්තියානි විද්යාවට වැදේ වි යෑයි ඔවුන් සිහිනෙන් වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් රජරට වකුගඩු රෝගය පිළිබඳව නිර්මාණය කරගැනීමට හැකි වීම අද බටහිර විද්යාඥයන්ට දිරවාගත නොහැකි ය. ඔවුන් ගේ ආධිපත්යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොඅනුමාන ය.

මේ අසිරිමත් කාලයක් නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුතාවක් වෙයි. අපි ගිය සතියේ ශ්රී ලංකා විද්යාභිවර්ධන සංගමයේ ප්රකාශයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්යාලයයේ විද්යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක් (ඔවුන් අතර ජ්යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නො කළ හොත් ඇතැමුන්ට එය මදිපුංචිකමක් වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙක වත් එසේ මදිපුංචිකමක් නො කළ යුතු ය.) තමන් එම විශ්වවිද්යාලයයේ උපකුලපතිතුමාට යෑවූ ලිපියක් ජනමාධ්යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක් ලිවීමට සිදු වීම ය.

එහෙත් එයට කලින් "සරසවියෙන් පිටමං වී යනු මුරුගා" යන මැයෙන් ලියෑවී ඇති ලිපියට ද පිළිතුරක් දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියෑවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක් නො ව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්යා ලෙස හැඳින්වෙන බෞද්ධයන් ගේ හෝ හින්දුන් ගේ හෝ දෙවියන් මිස ක්රිස්තියානි කතෝලික යුදෙව් ඉස්ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්වරූප ගත්ත ද එක ම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසි ම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නො ගන්නේ ඒ දෙවියන් මිථ්යාවන් නො වන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්ය දැන හෝ නො දැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා-අල්ලා දෙවියන් තව තවත් ස්ථාපිත කිරීම ය.

බටහිර විද්යාව යනු යුදෙව් ක්රිස්තියානි සංස්කෘතිය පසුබිම් කරගත් විද්යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්ය වූයේ යුදෙව් ක්රිස්තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්යාව ම පරණ තෙස්තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්යාව, මාක්ස්වාදය ආදිය පරණ තෙස්තමේන්තුවේ නික්ම යැම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්ස්වාදීහු ද ධනවාදීහු ද එකසේ බිය වී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්යාව මහ ඉහළින් කතා කරන මහා පිපිරුම යනු එක් මොහොතක සිදු වන විශ්ව නිර්මාණය මිස අනෙකක් නො වේ. මෝසස් ගේ පොරොන්දු දේශය හා මාක්ස් ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත් කල දෙකක් නො ව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක් නො ව අගක් මුලක් නැති විකාශයක් සහිත වූවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

යක්ෂ, දේව සංකල්ප ප්රකෘතිය තේරුම් ගැනීමට නොහැකි වුවන් ගේ ප්රාථමික ගණයේ විශ්වාස යෑයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්රිස්තියානි දැනුමෙහි යෙහෝවා නො වන අනෙක් දෙවියන් ගැන කියෑවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්ය යෙහෝවා දෙවියන් පමණක් තබාගෙන අනෙක් සියලු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන්, පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්රකෘතියක් තේරුම් ගැනීමට නොහැකි ව ද? විශ්වයේ ප්රාණීන් ලෙස ඇත්තේ දෘශ්යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක් යෑයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක් පෙනෙයි. එය විශ්වාසයක් නො ව ඊනියා යථාර්ථයක් යෑයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියෑවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්රව්යවාදය) යනු කුමක් දැයි දැනගැනීමට තිබිණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක් පමණක් බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්ස්වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක් කට ගා ගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන් ගේ පැවැත්ම නැතැයි කිව නොහැකි ය. බුදුන්වහන්සේ ගෙන් ධර්මය ඇසූ දෙවියන්, උන්වහන්සේ ගේ මනෝභ්රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්රශ්නය වී ඇත්තේ සිත යනු කුමක් දැයි යම්තමින් වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යෑයි ඌනිතවාදීහු සිතති. ඌනිතවාදයට මරු පහරක් ගඩිල් ප්රමේයයෙන් වුව ද එල්ල වන බව කොටන්දෙනිය මහතා නො දන්නා සේ ය.

භාවනාවෙන් මොළයේ පමණක් නො ව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්කම් ඇති කළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නො දන්නා කරුණ නම් මොළය යනු සිත නො වන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත් කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්යාපෘතියක් පමණ ය. කොටන්දෙනිය මහතා ගේ මනෝ භ්රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්රාන්තියක් වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුලාගත්ත ද බටහිර විද්යාවට අවශ්ය, නිවන ද තවත් මනෝභ්රාන්තියක් බවට පත් කිරීම බව නම් පැහැදිලි ය.

කැලණිය විශ්වවිද්යාලයයේ ඇතැම් අචාර්යවරුන්ට ද අවශ්ය මතු බුදු වන නාථ දෙවියන් හා විපස්සක දෙවියන් වැනි සම්යක්දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්රිස්තියානි යෙහෝවා දෙවියන් ගේ විද්යාව (බටහිර විද්යාව) ඒ දෙවියන් ද සමගින්

රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්ස්වාදීහු බෞද්ධයනට එරෙහි ව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන් ගේ යුදෙව් ක්රිස්තියානි දේවවාදී විද්යාව ආරක්ෂා කරන අතර මතු බුදු වන මෛත්රී බෝසතාණන්වහන්සේ ගේ (නාථ දෙවියන්) හා විපස්සක දෙවියන් ගේ විද්යාව ප්රතික්ෂෙප කරති. මොවුන් ඇතමකු විද්යාලංකාර යන නමට අකැමැති ය. ඔවුහු විද්යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති.

අපට එරෙහි ව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යෑවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්යා පීඨය වසර පනහකට අධික කාලයක් තිස්සේ ඉමහත් පරිශ්රමයෙන් ගොඩනඟාගත් කීර්ති නාමයක් පිළිබඳව සඳහන් කරති. 1967 දී බිහි වී නම්, විද්යා පීඨයට තවමත් වසර පනහක් ගෙවී නැති බව විශ්වවිද්යාල ශිෂ්යයන් පමණක් නො ව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරුන් ඒ බව නො දන්නා බව ඔවුන් ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක් අතට මේ ගොඩනඟා ගත්තේ යයි කියන කීර්තිය කුමක් ද? මේ අය ගෙන් එක් අයෙක් වත් ඔවුන් ඉතා උසස් ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස් සඟරාවේ හෝ පත්රිකා පළ කර ඇත් ද? ඔවුන් බිහි කර ඇති නව සංකල්පයක්, ප්රවාදයක්, ප්රමේයයක් වේ ද? මේ විද්යාඥයෝ හුදෙක් තාක්ෂණික ශිල්පීහු පමණක් වෙති. ඔවුන් දන්නේ සූපශාස්ත්ර විද්යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්, භෂ්මයක් එකතු කිරීම, යම් උෂ්ණත්වයකට රත් කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්යාත්මත විධික්රමය කුමක් ද? ඊනියා සාම්ය සමාලෝචනය ගැන මනෝඡ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර්, සයන්ස් යන ප්රධාන සඟරාවල පළ වන පත්රිකාවලින් ද සියයට තිහක් පමණ අවුරුදු කිහිපයක දී වැරැදි යෑයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක් අතට ඊනියා විද්යා පර්යේෂණ ප්රතිඵල විද්යා සඟරාවක පළ කළ යුතු බවට නීතියක් ඇත්තේ කොහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත් කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැති කිරීමට ය.

මා බටහිර විද්යාත්මක ක්රමයට අභියෝග කරන්නේ අද ඊයේ නො ව අවුරුදු විසි පහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්යාලයයේ විද්යා පීඨයේ ආචාර්යවරුන් නො දැන සිටියේ නම් එයට හේතුව ඔවුන් ගේ මුග්ධකම ය. ඊනියා විද්යාත්මක විධික්රමයක් ලෝකයේ නැති බවත් එය හුදෙක් බටහිර විද්යාව දැනුම් පද්ධතියක් ලෙස අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා උසස් ය, නිවැරදි ය සත්යයට ආසන්න ය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක් පමණක් බවත් මා ප්රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. බටහිර විද්යාව ඇත්ත ද බොරු ද යන්නක් එයින් නො කියෑවෙයි. බටහිර විද්යාව ද තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිර විද්යාඥයන් කරන්නේ ද අනෙක් බොහෝ අය මෙන් ම ප්රශ්නවලට පිළිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්යා කතන්දර පොත කියවන්න) පමණක් බවත් අප ප්රකාශ කර ඇත. බටහිර විද්යාව අනෙක් දැනුම් පද්ධතීන් ගෙන් වෙනස් වන්නේ එය පදනම් වූ සංක්කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්යාව යුදෙව් ක්රිස්තියානි සංස්කෘතිය හා ග්රීක යුදෙව් ක්රිස්තියානි වින්නතය මත පදනම් වෙයි. අපේ විද්යාව සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය මත පදනම් වෙයි.

කැලණිය විශ්වවිද්යාලයයේ විද්යා පීඨයේ ඇතැම් ගුරුවරුන් නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්යාවක් බිහි කිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්යාලංකාර නාමයට ද ඒ සම්ප්රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන භීනමානයක් ඇති මොවුන්ට අවශ්ය බටහිර ජීවන ක්රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහා විහාරයේ, අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාව ගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්යාලයයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිව හොත් අපේ පර්යේෂණ ප්රතිඵල පුවත්පත්වලට නිකුත් කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්රය ජනමාධ්යයට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්යාලය කෙරෙහි ඇති කරගෙන ඇත්තේ ගෞරවණීය ආකල්පයකි. පළමු වරට සුද්දා ගේ පොතට අනුව පරිධියේ බෙලෙක් තහඩුවලට තට්ටු කරන කසිකබල් සූපශාස්ත්ර පර්යේෂණ නො ව සුද්දා ගේ පොතේ නැති එහෙත් විපස්සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක් නො ව ආකිමිඩීස්, නිව්ටන්, අයින්ස්ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක් බව ඊනියා විද්යාත්මක අඳබාලයන්ට දැනුම් දෙමු.

මහාචාර්ය නලින් ද සිල්වා