Pages

Wednesday, August 10, 2011

ලෝක වාර්තාව අමතක නොවේ


– අජන්ත මෙන්ඩිස්

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තණතීරුව තමාට පාරාදීසයක් වූ බවත් තමා එයින් උපරිම ඵල නෙලා ගත් බවත් ලකුණු 16කට කඩුලු 6ක් ලබා ගනිමින් විස්සයි20 ලෝක වාර්තාවක් පිහිටුවූ අජන්ත මෙන්ඩිස් කියා සිටියේය.
එම තණතීරුව තමාට ඉතාමත් ගැලපෙන එකක් වූ බවත් විවිධ ආකාරයේ පන්දු තමා අත්හදා බැලූ බවත් කී මෙන්ඩිස්, ඒවායින් ජයග්‍රාහී ප්‍රතිඵල ලැබීම සතුටට කරුණක් බවද පවසා සිටියේය. මේ තරගය තම ක්‍රීඩා දිවියේ කිසි දිනෙක අමතක නොවන තරගයක් වනු ඇතැයි ‘අභිරහස් පන්දු යවන්නා’ ලෙසින් ප්‍රකට අජන්ත මෙන්ඩිස් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

වයිට් කලකිරෙයි

ශ්‍රී ලංකාවෙන් පිටත්ව තමා යළි ඔස්ට්‍රේලියාව බලා යන්නේ කලකිරුණු නායකයෙකු ලෙසින් බව ඔස්ට්‍රේලියා විස්සයි20 නායක කැමරන් වයිට් පෙරේදා පල්ලෙකැලේදී ලත් පරාජයෙන් පසුව ප්‍රකාශ කළේ.විස්සයි20 තරගයක් ජයග්‍රහණය කිරීමට බොහෝ විට ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ දක්ෂතා පමණක් ප්‍රමාණවත් බවත් මහේල ජයවර්ධන (86) හා අජන්ත මෙන්ඩිස් (16 ට 6) ඔස්ට්‍රේලියාවේ වාසියට යමින් තිබූ තරගය වෙනස් කළ බවත් වයිට් කීවේය.
“ෂේන් වොට්සන් තරගයට අවතීර්ණ වූ ආකාරය අපූරුයි. ඔහුගේ පිතිහරඹය මත ඔස්ට්‍රේලියාව පළමු ඕවර 5 ඇතුළත ලකුණු 60ක් අභිබවා ගියා. ඒ අවස්ථාවේ ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කය අපට පහසු වන බවක් පෙනුණා. වයිට් පවසා සිටියේය.

දිනමිණ ඇසුරින්


.

ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට අහස්‌ කලාපයට එවීමේ ඇමරිකානු දීන ක්‍රියාදාමය

ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට අහස්‌
කලාපයට එවීමේ ඇමරිකානු දීන ක්‍රියාදාමය


ප්‍රහාරක යානා ශ්‍රී ලංකාවට ඇතුළුවූයේ ඉන්දීය සාගරයේ ස්‌ථානගතවී ඇති තුන්වැනි නාවුක බළකායෙනි

සැප්තැම්බර් 20 වැනිදාට පෙර ශ්‍රී ලංකාව විසින් යුද අපරාධ සම්බන්ධව ප්‍රතිචාර දැක්‌විය යුතුයි. ඇමරිකානු රජය යුද්ධය සම්බන්ධයෙන් විනිවිදභාවයක්‌ දැක්‌වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ අවශ්‍යයි.
- මාර්ක්‌ වෝනර් ඇමරිකානු ප්‍රකාශක

2009 මාර්තු මස දිනෙක ඇමරිකානු ශාන්තිකර කලාප හමුදා මූලස්‌ථානයෙන් ස-130 වාර්ගයේ යානාවක්‌ පිටත්විය. මේ යානාව අහස්‌කුසේ එන අතරේ ශ්‍රී ලංකාවට පණිවුඩයක්‌ ලැබිණි. ඒ කොටින් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු හමුදා විමර්ශන කණ්‌ඩායමක්‌ පැමිණෙන බවයි.

ඇමරිකානු හමුදා - ගුවන් නාවික සහ මැරයින් බලකායන්ට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මේ යානාවේ සිටියහ.

ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණ රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ ගැනය. මේ මෙහෙයුම වෙල්ලමුල්ලිවයික්‌කාල් ගලවා ගැනීමේ මෙහෙයුම යෑයි පසුව හෙළිවිය. චෙන්නායි නුවර සිටින කොටි හිතවාදී ගැස්‌පර් රාජ පියතුමාද ඇමරිකානුවන්ගේ මේ රහස්‌ සැලසුම පසුව සනාථ කළේය. මෙහි අරමුණ කොටි හමුදා නායකයක්‌ සහ ඔවුන්ගේ පවුල්වල අයව ඉවත්කර ගැනීමයි. එහෙත් මේ ඇමරිකානු කණ්‌ඩායම මෙපමණ ඉක්‌මණින් යුද්ධය අවසන්වේ යෑයි සිතුවේ නැත.

මේ ඇමරිකානු තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයයි. පසුගියදා ඇමරිකානුවන්ගේ තව රහස්‌ මෙහෙයුමන් දියත්විය. ඒ ඉන්දීය සාගරයේ යාත්‍රා කෙරෙන ඇමරිකානු තුන්වැනි නාවුක හමුදාවට අයත් ගුවන් යානා ගෙනයන නෞකාවලින් අහසට නැඟුන ඒ ඇමරිකානු එම්. 15 සහ 16 වර්ගයේ යානා ශ්‍රී ලංකා අහස්‌ කලාපයට ඇතුළුවීමයි.

මෙය ශ්‍රී ලංකාවේ අහස්‌ කලාපය උල්ලංඝනය කිරීමකි. මෙයට පෙරද ඇමරිකානු ප්‍රහාරක යානා ශ්‍රී ලංකා අහස්‌ ප්‍රදේශයට ඇතුළුවී තිබූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පැවසීය.

ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට අහස්‌ කලාපයට ඇතුළුවීම සම්බන්ධයෙන් රජය දැඩි විරෝධය පෑවත් ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා මුටේනිස්‌ හෝ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඒ ගැන කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත.

ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට අහස්‌ ප්‍රදේශයට පැමිණීමෙන් දින කිහිපයකට පසු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මාර්ක්‌ වෝනර් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීය.

යුද අපරාධ සම්බන්ධව ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට ඇමරිකාව ක්‍රියාකරනවා යෑයි ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවට මෙලෙස තර්ජනය කරන්නේ ලෝකයේ සාම යුද අපරාධකරුයි. මෙලෙස ඇමරිකානු ප්‍රහාරක යානා ශ්‍රී ලංකාවේ අහස්‌ කලාපය උල්ලංඝනය කිරීම ගැන බ්‍රිතාන්‍ය කොටි වෙබ් අඩවිය පැවසුවේ ඉදිරියට ඇමරිකාවේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවට තේරෙන බවයි.

මේ පසුබිම යටතේ ඇමරිකානු ක්‍රමවේදය පැහැදිලිය. ඇමරිකානු හමුදා යානාවන් මෙලෙස මුම්බායි අහස්‌ ප්‍රදේශය හරහා පියාසර කරන අවස්‌ථාවේ ඉන්දීය ප්‍රහාරක යානා එකී යානාව ගොඩබස්‌සනු ලැබීය.

එහෙත් එවන් දෙයක්‌ අපට කළ හැකිද? ඇමරිකානු ප්‍රහාරක යානා මෙරට ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අහස්‌ කුසට පිවිසීම යනු තර්ජනයකි.

එහෙත් අපේ අයට ලැ-ජාවක්‌ නැත. පැට්‌රීෂියා බුටේනිස්‌ හෙට ඇගේ නිවසේ සාදයක්‌ පැවැත්වීමෙන් එයට සහභාගිවන මෙරට පාර්ශ්වයන් දැකගත හැකිය.

මෙයට කලකට පෙර ඇගේ නිවසේ පැවැති සාදයකදී උතුරෙන් හමුදා ඉවත්විය යුතු යයි පැවසුවේද ඇයයි. අද පෙරටත් වඩා ඇමරිකාව මෙරටට තර්ජනය කරමින් සිටී. හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ මේ වනවිට 11 වතාවක්‌ම පවසා ඇත්තේ යුද අපරාධ ගැන සොයන ලෙසයි. එසේ උතුරේ හමුදා කඳවුරු ස්‌ථානගතව තිබීමද බ්ලේක්‌ට ප්‍රශ්නයකි.

මෙහිදී නැගෙන ප්‍රධාන ප්‍රශ්නය මෙයයි. ඇමරිකාව නොකියා කියන්නේ නුඹලා හමුදා ප්‍රධානීන් යුද අපරාධවලට වරදකරුවන් නොකළහොත් පියවර ගන්නා බවයි.

මෙය සනාථ වන්නේ පසුගිය සඳුදා (9 දා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මාර්ක්‌ වෝනර්ද ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමෙනි.

මේ නිසා ශ්‍රී ලංකාව වෙත අද ඇමරිකානු තර්ජනය එල්ල වී ඇත. කොටි බේරාගැනීමට උත්සාහ කළේ රොබට්‌ බ්ලේක්‌. සාම සාකච්ඡාවලට යන්නයි ඔහු රජයට කීවේය. රජය ඊට සවන්දුන්නේ නැත. මේ නිසා බ්ලේක්‌ සූදානම් වන්නේ දඬුවම් කිරීමට. රොබට්‌ බ්ලේක්‌ දැන් පැමිණිලිකරු, සාක්‌කිකරු සහ විනිසුරු ලෙස ක්‍රියාකරයි. තවම ඔහු රඟදක්‌වා නැත්තේ අළුගෝසුවාගේ චරිතයයි. මෙලෙස ඇමරිකානු ප්‍රහාරක යානා විටින්විට මෙරට අහස්‌ කලාපයට ඇතුළුවීමේ පසුබිමට දායකවන පිරිස මෙරට සිටී.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දෙදෙනකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගෙන්වා රහස්‌ සාකච්ඡා පවා පැවැත්වූයේද රොබට්‌ බ්ලේක්‌ය.

මේ තත්ත්වය මත ඇමරිකානු ප්‍රහාරක යානා මෙරටට පැමිණියේ අහම්බෙන් නොවේ. එකී ක්‍රමවේදයේ ඇමරිකානු ඒජන්තලා මෙරට සිටී. ඇමරිකනු තානාපති කාර්යාලයට කේලාම් කියන දේශපාලනඥයන්ද සිටින බව විකිලික්‌ස්‌ වෙබ් අඩවියෙන් හෙළිවිය.

මේ තත්ත්වය මැද එම්-15, එම්-16 ප්‍රහාරක යානා මෙරටට ඇතුළුවීමේ ක්‍රියාදාමයේ කොටස්‌කරුවන් සිටින්නේද කොළඹ බව රජය තේරුම්ගත යුතුය.

මෙයට අමතරව ඇමරිකාව සමඟ දැඩි සබඳකම් පවත්වන ඒජන්තවරයකුද සිටී. ඔහු හිටපු දේශපාලකයෙකි. රජය වෙත සතුරන් සමීපවී ඇතැයි අප විටින් විට අනතුරු ඇඟවූවෙමු. දැන් මේ සතුරන් අළු ගසාදමා නැගිට ඇත්තේ ඔවුන් මිතුරන් ලෙස වෙස්‌මුහුණු පැළඳගෙනය.

මේ නිසා වර්ධනය වන මෙකී ඇමරිකානු තර්ජනයට මුහුණදීමට ජනතාව ඒකරාශීවිය යුතු සමය එළඹ ඇත.

ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය නොකරන බවද සිහිපත් කළ යුතුය.

ඊට හේතුව ඇමරිකානු න්‍යාය පත්‍රය මෙරට ක්‍රියාත්මක නොවීමයි.

copy by www.divaina.com